.

දරුවකුගේ උපතේ සිට මාස 6 සම්පූර්ණ වන තෙක් මව්කිරි මගින් ලැඛෙන ශක්තිය හා පෝෂණය දරුවාට ප්‍රමාණවත් වුවද, මාස 6 සම්පූර්ණ වීමෙන් පසුව වර්ධනයට අවශ්‍යය ශක්තිය හා පෝෂණය ලබාගැනීමට මව්කිරි ප්‍රමාණවත් නොවේ. එමනිසා එම පෝෂණ අවශ්‍යතාවය සපුරා දීමට මාස 6 සම්පූර්ණ වීමත් සමග දරුවාට අමතර ආහාර හදුන්වා දීම අත්‍යවශ්‍යය කාරණයකි.
දරුවාට ආහාර කැවීමේ හුරු පුරුද්ද පදනම් කරගෙන ආහාර කැවීම ප්‍රධාන ආකාර දෙකකට හදුන්වා දිය හැකිය.
ප්‍රතිචාරාත්මක ආහාර කැවීම
ප්‍රතිචාරාත්මක නො වන ආහාර කැවීම

ප්‍රතිචාරාත්මක නොවන ආහාර කැවීම
ප්‍රතිචාරාත්මක නො වන ආහාර කැවීමේ දී මව හෝ රැකබලාගන්නා සහ දරුවා අතර අහාර කැවීමේ කාලය තුළ දී ඇති වන අන්‍යොන්‍ය බැඳීම ඉතා දුර්වලය.
මේ දුර්වල ආහාර කැවීමේ චර්යාව තවදුරටත් කොටස් කිහිපයකින් විස්තර කළ හැකිය. මෙම ආහාර රටාවන් නිසා දරුවාට මෙන්ම මවටද අවාසිසහගත තත්ත්වයන් උදා කරයි.
එම දුර්වල ආහාර කැවීමේ ආකාර නම්,
  • මවට පහසුවන අයුරින් දරුවාට ආහාර දීම සිදුවන අතර දරුවාගේ අවශ්‍යතාවයට ආහාර දීම සිදු නොවීම
  • මව විසින් බලෙන් දරුවාට ආහාර ලබාදීම.
  •  දරුවා ආහාර ගන්නා විටදී මව වෙනත් රාජකාරීඉන් වල නියැලීම.
  • දරුවාට ආහාර දීම පිළිබදව මව සැළකිල්ලක් නොදැක්වීම.


ප්‍රතිචාරාත්මක ආහාර කැවීම


මෙය පියවර 4 කින් සමන්විත වේ.
  1. දරුවාට ආහාර කැවීම සදහා ප්‍රසන්න සහ සෞඛ්‍ය සම්පන්න වූ පරිසරයක් නිර්මාණය කිරීම.
  2. දරුවා ගේ බඩගිනි පෙන්වන සහ බඩ පිරුණු බව පෙන්වන ඉගි හඳුනාගැනීම.
  3. දරුවා එම බඩගිනි පෙන්වන සහ බඩ පිරුණු බව පෙන්වන ඉගි සඳහා වහාම, හැගීම්මය උදව් දෙන ආකාරයට, සංවර්ධනයට සුදුසු පරිදි ප්‍රතිචාර දැක්වීම
  4. උක්ත පියවරයන් නිසා දරුවා ගේ ඉගි සඳහා දක්වන ප්‍රතිචාර පිළිබඳව දරුවා පළපුරුද්ද ලබාගැනීම.


ප්‍රතිචාරාත්මකව ආහාර දීමේ කෙටිකාලීන මෙන්ම දිගු කාලීන වැදගත්කම් පවතී.

කෙටිකාලීන
  • දරුවාට ආහාර සදහා ඇති රුචිය වැඩිවීම.
  • දරුවා වැඩි ආහාර ප්‍රමාණයක් ගැනීම.

දිගුකාලීන
  • මවත් දරුවාත් අතර සම්බන්ධතාවය වැඩිදියුණු වීම.
  • දරුවාගේ නිසි කායික වර්ධනයට උපකාරී වීම.
  •  දරුවාගේ මනෝ සමාජයීය සංවර්ධනයට උපකාරී වීම.
  • දරුවා ලෙඩරෝගවලට බදුන් වීමේ ප්‍රවණතාව අඩු වීම.
  • දරුවාගේ ආහාර ගැනීමේ පුරුදු වැඩිදියුණු වීම.
  • මවගේ මානසික සෞඛ්‍යය මට්ටම දියුණු වීම.
  • දරුවාට ආහාර ලබාදීම සදහා මවට වැයවන කාලය සහ ශ්‍රමය අවම වීම.
  •  දරුවා සමාජය තුළ ප්‍රතිචාරාත්මකව හැසිරීමට පුරුදු වීම.


ප්‍රතිචාරාත්මකව ආහාර දීමේ පියවර 4

පියවර 1
ආහාර ලබාදීම සදහා නිවසේ තෝරාගත් එකම ස්ථානයක් තිබිය යුතු අතර එය දරුවාට ආකර්ෂණීය ලෙස නිර්මාණය කර තිබීම වඩාත් සුදුසු ය. දරුවාට පහසුවෙන් වාඩි වී සිටිය හැකි ලෙස ස්ථානය සැකසිය යුතුය. ආහාර ලබා දීමට ආකර්ෂණීය වූ ද දරුවාටම වෙන් වූ ද පිගානක්, කෝප්පයක් සහ හැන්දක් තබා ගත යුතුය.දරුවා ආහාර ගන්නා කාලය තුළදී දරුවාගේ අවධානය වෙනතක නොයන පරිදි පරිසරය සකස් කිරීම කළ යුතුය.
උදා: අනෙකුත් දරුවන් සෙල්ලම් කරන අයුරු පෙනීම.
දරුවා ආහාර ගන්නා කාලයේ දී සිදුවන අනෙකුත් බාධාවන් අඩු විය යුතුය. උදා: මව වෙනත් කටයුතුවල නිරත වීම.
නිශ්ශබ්ද පරිසරයක සන්සුන් ලෙස දරුවාට ආහාරදීම අරඹන්න˜

පියවර 2
දරුවාගේ බඩගිනි හා බඩ පිරුණු බව පෙන්වන සංඥා හදුනා ගත යුතුය.
බඩගිනි බව හගවන සංඥා
·         ඈනුම් ඇරීම.
·         තොල කට ලෙවකෑම.
·         ආහාර දෙස අත දිගු කිරීම.
·         ඇඩීම.
·         මුහුණේ සිදුකරන ඉරියව් වෙනස්වීම.

බඩ පිරුණුබව හගවන සංඥා
  • තොල් තද කර ගැනීම.
  • ආහාර ප්‍රතික්ෂේප කරමින් මුහුණ ඉවතට ගැනීම.
  • කෑම කටින් ඉවතට දැමීම.
  • ආහාර ප්‍රතික්ෂේප කරමින් මුහුණ ඉවතට ගැනීම.
  •  පිගාන තල්ලූ කිරීම.


 




පියවර 3
දරුවාගේ සංඥාවලට වහාම ආදරයෙන් හා කරුණාවෙන් වයසට ගැපපෙන පරිදි ප්‍රතිචාර දැක්වීම.

දරුවාට බඩගිනි වූ බව හගවන සංඥා හදුනාගත් විට ඒ සදහා ප්‍රතිචාර දැක්වීම සදහා වහාම වයසට ගැලපෙන ආහාර ලබා දීමට මව සූදානම් විය යුතුය.

දිනපතා ම දරුවාගේ බඩගිනි සංඥාවලට අනුකූල වූ කාල සටහනකට අනුව දරුවාට ආහාර සැපයිය යුතුය.

දරුවාට ආහාර ගැනීම ප්‍රියමනාපවන ආකාරයට දරුවා සමග සුහද සංවාදයක් ගොඩනගා ගත යුතුය.

දරුවාට ආදරයෙන් හා කරුණාවෙන් ආහාර ලබා දිය යුතුය.

දරුවාගේ බඩපිරීමේ සංඥා හදුනාගත් විට ආහාර දීම නැවැත්වීම.





පියවර 4
තමාට බඩගිනි වූ විට හා බඩ පිරුණු විට මව විසින් සුදුසු පරිදි ප්‍රතිචාර දක්වන්නේ ය යන විශ්වාසය දරුවා තුළ ගොඩනැගීම.

දරුවා ආහාර ගන්නා කාලය විනෝදකාමී කාලයක් බව හදුනා ගැනීම.

දරුවා අලූත් ආහාරයන්ට පහසුවෙන් හුරු වීම.

අවුරුදු 2 වන විට දරුවාට තනිවම ආහාර ගැනීමට පුරුදු වීම.

දරුවාත් මවත් අතර මනා සබදතාවක් ගොඩ නැගීම.

ප්‍රභාත් පල්ලෙවත්ත
වෛද්‍ය හා සමාන්තර විද්‍යා පීඨය
රජරට විශ්වවිද්‍යාලය - අනුරාධපුර

Comments